නූතන සන්නිවේදන ක්‍රියාකාරිත්වය තුළ අන්තර්ජාලය නොමැති තැනක්, නොදන්නා අයෙක් , පාවිච්චි නොකරන කුඩා දරුවෙකු සොයාගැනීමට නොහැකි තරම්ය. එය එතරම් දියුණු මට්ටමට ළඟා වන්නට හේතුව වන්නේ මහජනතාවගේ අසීමිත තොරතුරු කුතුහලය පියවා ගැනීමේ අවශ්‍යතාවය නිසාය. මුල් කාලයේ ලියුමේ සිට වර්තමානයේ අප භාවිතා කරන සමාජ මාධ්‍ය දක්වා අන්තර්ජාලය බිහිවීමට විවිධ හේතු පැන නැගී ඇත. අන්තර්ජාලය අවශ්‍යතාවය හා එහි වේගය පිළිබඳ සැලකීමේදී එය රටකින් රටකට එම රටවල ඇති සම්පත් ප්‍රමාණයට සාපේක්ෂව වෙනස් වේ. නමුත් ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය සෙසු රටවලට සාපේක්ෂව තරමක වෙනසක් ඇතිකරවන සුළු එකක් වී ඇත.
මෙතරම් සමාජ පෙරළියක් ඇති කරන ලද මෙම අන්තර්ජාලය පිළිබඳ ලංකාව තුළ යළි කතාබහක් ආරම්භ වන්නේ 4G තාක්ෂණයෙන් 5G තාක්ෂණයට මාරුවීමේ පුවතත් සමගය. නමුත් අපේ රටේ අන්තර්ජාල සේවා සපයන්නන් විසින් ලබා දෙන අන්තර්ජාල පහසුකම් තුළ යම් යම් ගැටළු මෙන්ම 4G තාක්ෂණයට සාපේක්ෂව දැනට 5G තාක්ෂණය ලබාදීම ප්‍රායෝගික නොවන බව බොහෝ සමාජ මාධ්‍ය වේදිකාවල මෙන්ම විවිධ පුද්ගලයන්ගේද මතය වීී ඇත. කෙසේ වෙතත් සමාජයේ ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවූ මෙම 5G විප්ලවයේ තරමක් අධ්‍යයනය කළ යුතු එකකි. එනම් මෙම ජාල පරම්පරා, අන්තර්ජාලය වේගය කෙරෙහි පැහැදිලි බලපෑමක් ඇති කරන දෙයක් බව මුලින්ම පැහැදිලි කළ යුතුය.
මෙම ජාල පරම්පරා ( Network Generarion ) විවිධ කාල පරාසවල විවිධ අයුරින් නිර්මාණය වූ අතර ඒ ඒ කාලවලට අනුව අන්තර්ජාල වේගය හා සිදුවන කාර්යයන් පවා වෙනස් විය. මේ ජාල පරම්පරාවල පළමු පරම්පරාව ( 1G ) භාවිතා කළේ සාමාන්‍ය දුරකථන ඇමතුම් වලට මෙන්ම අවම දුරසීමාවක සන්නිවේදනය සඳහාය. මෙය 1980 දශකයේ අතිශය ජනප්‍රිය විය. 1990 දශකය තුළ දෙවන පරම්පරාව ( 2G ) නිර්මාණය වූ අතර එය පළමු පරම්පරාවට සාපේක්ෂව දියුණු මට්ටමක පැවතුණි. ඉහළ ආරක්ෂාව , කෙටි පණිවිඩ සේවා හා ඩිජිටල් ක්‍රමයට ඇමතුම් ගැනීමට හැකිවන ආකාරයට එය වැඩිදියුණු වී තිබුණි. තවදුරටත් දියුණු මට්ටමට ලඟා වූ මෙම ජාල පරම්පරාවේ තෙවන පරම්පරාවක් (3G ) 2000 වසරේදී නිකුත් විය . පළමු හා දෙවන පරම්පරාවලට වඩා සංවර්ධිත මට්ටමේ පැවැති මෙම පරම්පරාව අන්තර්ජාලය ප්‍රවේශය, වීඩියෝ ඇමතුම් ආදිය ලබා ගැනීමට තරම් ඉහළ තලයක පරම්පරාවකි. එතනින් පසු අප වර්තමානයේ භාවිතා කරන සිව්වන පරම්පරාව (4G ) කරළියට පැමිණියේ 2010 වසරේදීය. අද ඔබ අප භාවිතා කරන අධිවේගී අන්තර්ජාලයට හේතුව සහ එය ඒ දක්වා වර්ධනය වන්නේත්, ඉහළ ගුණාත්මක බවින් යුතු අන්තර්ජාල සේවා ලබා ගැනීමට හැකි වන්නේත් මේ සිව්වන පරම්පරාවේ බලපෑම හේතුවෙනි. නමුත් කාලයත් සමග මෙහි බලයද වියකි ගොස් දැන් පස් වන පරම්පරාවද (5G ) ශ්‍රී ලංකාවට නිල වශයෙන් ආවරණ කලාප විවෘත කිරීම සිදුකරනන ලදී.
අතිවිශාල ආයෝජනයක ප්‍රතිඵලයක් ලෙස 5G තාක්ෂණය ලංකාවට නිල වශයෙන් පැමිණියද මෙහි ගැටළුව 4G ආවරිත කලාප ගණනාවක් තිබුණද ඇතැම් ප්‍රදේශවලට තවමත් නිසි ලෙස නිවැරදි ධාරිතාවෙන් උසස් සේවාවක් එයින් ලබා ගත නොහැකි වීමයි. එමෙන්ම අධිවේගී 4G ජාල කෙතරම් තිබුණද අන්තර්ජාල වේගය පිළිබඳ තවමත් ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. මෙම ගැටලු සමනය කර නොගෙන පස් වැනි පරම්පරාව ස්ථාපිත කිරීම මෙන්ම ඒ සම්බන්ධ සංඥා කුළුණු අතිවිශාල ප්‍රමාණයක් ස්ථාපිත කිරීම තුළින් සිදුවන්නේ මුල් ගැටළු යටපත් වීමකි. එබැවින් 4G තාක්ෂණයේ ඇති ගැටලු මෙන්ම ආවරිත කලාපවල තවමත් පවතින මන්දගාමී වේගයට පිළියම් යෙදීමෙන් පසු 5G තාක්ෂණය ස්ථාපිත කිරීම සිදුකිරීම වඩාත් යෝග්‍ය බව මෙහිදී දැක්විය යුතුය.
H.H. ගීත් මාලන්
ජනසන්නිවේදන අධ්‍යනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය
