Monday, 4 November 2024

රට NO හදපු Media...

 

  • ලංකාවේ ප්‍රබලම රූපවාහිනි මාධ්‍ය ආයතනවල දේශපාලනික හා සමාජ ආර්ථික බලපෑම් 


බොහෝ දෙනාගේ කතිකාවට  ලක්වන්නා වූ ප්‍රබල මාතෘකාවක් ලෙස මාධ්‍ය යන වචනය අපගේ කනට නිතරම ඇසෙන්නකි.  බොහෝ අවස්ථාවල සන්නිවේදනය යන්න පූර්වාදර්ශයට ප්‍රමුඛ ව හසුවන අංශය ලෙස මාධ්‍ය දැක්විය හැකිය . ඉතා කෙටි කාලයකින්  දියුණුවට පත් ව මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ ඉතිහාසය පිලිබද විමසා බැලීමේදී  එය එක් අයෙකුගෙන් හෝ කිහිපදෙනෙකුගෙන් ආරම්භ වුවක් නොවූ බව පැහැදිලි වේ.


මෙකී සියලු කරැණු කාරණා වග විභාගයට ගනිද්දි ලෝකය තුල නමක්, කීර්තියක් අත්පත් කර තිබූ , අත්පත් කර දුන් ප්‍රබල මාධ්‍ය ආයතන රාශියක් ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය තුල දැඩි තරගකාරිත්වයකින් යුතු ව ක්‍රියාවට නැගෙන බව ද කිව යුතුය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි රටක මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබලත්වය තුලින් දක්නට ලැබෙනුයේ මෙකි මාධ්‍ය ආයතන මගින් රටක සමාජ ,ආර්ථික මෙන්ම ප්‍රබල වශයෙන් දේශපාලනික වටපිටාව ද යම් යම් වෙනස්කම් වලට බදුන් කරන බව කිව යුතුය . ප්‍රධාන වශයෙන් ලංකාවේ සන්නිවේදනය කණපිට පෙරලන මාධ්‍ය ආයතන කිහිපයක් සංවාදයට මෙහිදී ලක් වේ . ප්‍රධාන වශයෙන් ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය රූපවාහිනි , ගුවන්විදුලි හා පුවත්පත් ආදි වශයෙන් බෙදා වෙන් කරන නමුත් රූපවාහිනි මාධ්‍ය තුල වෙනස් ම වූ මාධ්‍ය පැතිකඩක් ඇති බව කිව යුතුය.


1. ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථාව ( Sri Lanka Rupawahini Corporation)


ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍ය ගණනාවක් තිබුණ ද ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව බිහිවීම ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ පුළුල්  වෙනස්කම් රාශියක් ඇති කලේය.  1982 වසරේ ආරම්භ කරන ලද මෙහි නම මුල් කාලයේ "රෑපවාහිනිය" වුවත් එය අදටත් වලංගු නාමය විය. 1978 දී Nippon Hoso Kyoki ( NHK ) හා Japan International Corporation  ( JICA ) යන ආයතනවල සහය ලද මෙම ආයතනය අද වන විට ලංකාවේ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනයක් වී හමාරය.

මූලික වශයෙන් ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ මූලාශ්‍රමය කරැණු මතින් ගොඩනැගුණු මෙම රූපවාහිනි සංස්ථාවේ මූලික දේශපාලනික මතය වන්නේ පවතින රජයට සහය දැක්වීමයි. එනම් එකී මාධ්‍ය  ක්ෂේත්‍රය රජයේ ප්‍රවෘත්ති පල කිරීම් , ප්‍රතිපක්ෂ ප්‍රතිපත්ති  විවේචනය, තම දේශපාලන මතය දැරීමට වඩා පවතින රජයේ මතය දැරීම තුලින් මෙය වටහා ගත හැකිය. ප්‍රධාන වශයෙන් මෙම සංස්ථාවේ ආර්ථික බලපෑම ද සුවිශේෂ වේ. එනම් මෙහි අංශවල බලය ඒකාධිකාරයකට නොව කලින් කලට හුවමාරු වන බලයක් මෙහි පවතින බව කිව යුතුය.  කෙසේ නමුත් රටේ පවතින දේශපාලන, ආර්ථික තත්වය මත මෙකී මාධ්‍ය ආයතනවල  අවශ්‍යතා වෙනස් වන බව කිව යුතුය.

2. ස්වාධීන රූපවාහිනී සේවය ( ITN - Independent Television Network )



වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ස්වාධීන රෑපවාහිනී සේවය ස්වාධීන වන්නේ මෙය ආරම්භ කල මුල් කාලයේ පමණි. එනම් 1979 ජුනි වන දින ස්වාධීන රූපවාහිනි සේවය ආරම්භ කරනු ලබන අතර වර්තමානය දක්වා එය දිව ගිය අතීතය සැබැවින්ම දීර්ඝ එකකි.

ජාතික රූපවාහිනියට සාපේක්ෂ ව ස්වාධීන රූපවාහිනි සේවයේ ඇති සුවිශේෂි ම ලක්ෂණය නම් එහි ඇති දේශපාලනික අත්දැකීම් වල ඇති පොහොසත් බවයි . මෙයින් අදහස් කරනු ලබන ප්‍රධාන අර්ථකථනය වන්නේ ලංකාවේ ආණ්ඩු පක්ෂයේ සමහර තැන් විවේචනයට ලක් කරමින් සකස් කරන ලද "විමසුම" නම් කාලින වැඩසටහන තුලිනි. මෙකී වැඩසටහන් වල සන්නිවේදනය බුරුතු පිටින් ලංකාවේ සියලු දේශපාලනික භූමිකාවන් කනේ පහරක් වන්නට විය. නමුත් පසුකාලීන ව මෙකී වැඩසටහන් වල වියැකී යාමත් සමග දේශපාලනයේ අඩු ලුහුඩුකම් ස්වාධීන රූපවාහිනිය විසින් සිදු නොකළේය.

ස්වාධීන රෑපවාහිනියේ ප්‍රබලම පැතිකඩක් වන්නේ එය සමාජීය වශයෙන් ලාංකිකයන්ට ඉටු කරන ලද සේවයයි. නමුත් ඇතැමුන්ට මෙය මාධ්‍ය අලෙවිකරණයක එක් ප්‍රතිඵලයක් බවටද හැගී යන්නට වෙයි. බොහෝ විට තිස් වසරක යුද්ධ කාල සීමාවේ පැවති ඛේදාන්විත වාතාවරණය එවකට ජනතාවට දෑසින් නැරඹීමේ භාග්‍ය උදා කර දීම ස්වාධීන රූපවාහිනිය මගින් සිදු කෙරිණි. කෙසේ නමුත් මෙය යුද්ධයේ මුල් කාල සීමාවේ ම සිදු නොවීම කණගාටුවට කරුණකි.

එකී සාක්ෂි පදනම් කරගෙන ම ස්වාධීන රෑපවාහිනි සේවයේ තවත් සේවාවක් වන්නේ සංස්කෘතිය ගොඩනැගීමේ කාර්යභාරයයි. එයට කදිම උදාහරණ ගොන්නක් තිබුණ ද එකල පටන් මෙය "හෙලයේ මහා සංස්කෘතික මංගල්‍යය" යන තේමාව කරගෙන අවුරැදු උත්සවය සූර්ය මංගල්‍යය ලෙසින් අදටත් පවත්වාගෙන එන බවක් දක්නට ලැබේ . කෙසේ වෙතත් සමානතා අසමානතා පිලිබද විග්‍රහයක නිරත වෙතොත් රටේ පැවති වාතාවරණයන්ට සමගාමී ව ස්වාධීන රූපවාහිනිය නිරතුරුව වෙනස් වූ බවක් පෙන්වා දී ඇත. එනම් එදා පැවති ස්වාධීන රූපවාහිනියත් , අද පවතින ස්වාධීන රූපවාහිනියත් අතර පරස්පර විරෝධී වෙනසක් මෙයින් පැහැදිලි වේ.

4. ස්වර්ණවාහිනිය ( EAP Broadcasting Company/ LYCA Gnanam  Pvt Ltd)




නූතන සන්නිවේදන ක්‍රියාකාරකම් පිලිබද පසු විග්‍රහයක නිරත වීමට පෙර එය තුලින් යම් ආයතනයක වගකීම් නිර්මාණය වන්නේද යන්න පිලිබද පුළුල් විග්‍රහයක නිරතවීම වැදගත් වේ. මෙයින් අදහස් වන්නේ විවිධ මාධ්‍ය ආයතනයන් තම මව් ආයතනය වැඩිදියුණු කිරීමත්, එමගින් මාධ්‍ය ආයතනයන් දියුණුවට පත් වීමත් සිදු වේ. එවැනි ආයතන බොහෝමයක් ලංකාවේ නිර්මාණය වී ඇති නමුත් ව්‍යාපාරික අවශ්‍යතාවයක් හේතුවෙන් මාධ්‍ය ආයතනයක් බිහිවීම සිදුවන්නේ ඉතා කලාතුරකිනි. එහි මුල් පියවරක් තැබුවේ EAP Broadcasting Company හෙවත් එදිරිසිංහ සමූහ ව්‍යාපාර සමාගම ය . සෝමා එදිරිසිංහ මැතිණියගේ සංකල්පය පසුකාලීන ව ස්වර්ණවාහිනි මාධ්‍ය ආයතනය බිහිකිරීමේ මූලික අඩිතාලම විය.

ස්වර්ණවාහිනි මාධ්‍ය ආයතනයේ ප්‍රධාන වෙනස්කම් හා සමානකම් රැසක් පැවතියත් එය ආර්ථික වශයෙන් ඉතා සශ්‍රීක තැනක තිබූ මාධ්‍ය ආයතනයක් බව කිව යුතුය. සහෝදර නාලිකා කිහිපයක් ද තිබූ අතර මෙය ETV , ETV 2 ආදී වශයෙන් දැක්විය හැකිය. ආර්ථික පසුබිම ගැන පිරික්සා බැලීමේදී EAP සමූහ ව්‍යාපාරයේ බලතල මත ලංකාවේ විශාලතම ඒකාධිකාරයක් නිර්මාණය කල මාධ්‍ය ආයතනයක් ලෙසත් එකී සමූහ ව්‍යාපාරයේ පූර්ණ බලය සෝමා එදිරිසිංහ මැතිනිය යටතටත් පැවරී තිබීම විශේෂ වේ. නමුත් එතුමියගේ අභාවයෙන් පසු වසර ගණනක් ඇයගේ දරැවන් EAP ( ETI Finace ) ව්‍යාපාරය හරහා සිදුකල මූල්‍ය වංචාවක් නිසා මාධ්‍ය ආයතනය පවා තහනමට ලක් වීමට ගිය ආකාරයක් දක්නට ලැබේ. මෙයින් ප්‍රකාශිත වන්නේ ජනතාවගේ අදහස්, මත වලට ඇහුම්කන් දෙන අතරම ඇතැම් වංචනික ක්‍රියාවල ද නිරත වීමට ඕනෑම මාධ්‍යකට නිරත විය හැකි බවයි.

නිශ්චිත කරුණු ගොන්නක් ස්වර්ණවාහිනිය පිළිබඳව අදටත් නැතත් දේශපාලනික වශයෙන් එය බොහෝ ප්‍රේක්ෂකයන්ට පාඨකයන්ට ඒත්තු ගන්නවා ඇත්තේ  එය අපක්ෂපාති තොරතුරු ඉදිරිපත් කරන බවයි.

නමුත් ඕනෑම මාධ්‍ය ආයතනයක් තුළ දේශපාලනික වටිනාකමක් ආරෝපණය වන බව සැබවින්ම පෙනීයන්නා වූ කරුණකි . එහෙයින් ස්වර්ණවාහිනී,  රන් fm   වර්තමානයේ පුවත්පතක්  ලෙස කලඑළි දකින මොණරා පුවත්පත තුළද දේශපාලනික වටිනාකමක් දක්නට ලැබෙයි. මෙයින් අදහස් කරනු ලබන්නේ ස්වර්ණවාහිනී වැනි මාධ්‍ය ආයතන තුළ පොදු වශයෙන් ගත් කළ එය මාධ්‍ය ආයතනයක් වීමට පෙර එහි බලය රැඳෙන්නේ සමූහ ව්‍යාපාරයක් යටතේ වීමය. මේ හේතුව නිසා බලය වැඩි දේශපාලන පක්ෂ මත ක්‍රියා කිරීමත් එයට සාපේක්ෂව ප්‍රධාන වශයෙන් තම සමූහ ව්‍යාපාරයේ බලය රඳා පවත්වා ගැනීමට අවශ්‍ය දේශපාලන වාතාවරණය නිර්මාණ කිරීමද මෙහිදී සිදුවෙයි.

කෙසේ වෙතත් සමාජයීය  වශයෙන් ගත් කළ මෙකී සියලු කරුණු කාරණා මත ස්වර්ණවාහිනිය  මාධ්‍ය ආයතනයක් වශයෙන් සිදුකළ සේවාවන්ද තිබේ. එය මාධ්‍ය නාලිකාව ආරම්භයේ සිදු කරන ලද්දක් නොව වර්තමානයේ ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් ද පවත්වාගෙන යන බවත් දක්නට ලැබේ.  මෙයට කදිම නිදසුනක් ලෙස මෙහෙවර  කාලීන සංවාදමය වැඩසටහන සාකච්ඡාවක් ලෙස කාලීනව සිදුවන බොහෝ දේවල්වලට විස්තර සපයයි.   එමෙන්ම මුල් කාලයේ live at 8 යන්න ජනතාවගේ මුවෙහි තිබූ වචනයක් විය. එය එසේ වන්නට හේතුව ඉදිරිපත් කළ ප්‍රවෘත්තිවල ගුණාත්මක බව විය යුතුය .

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ක්‍රියාකාරීත්වයේ සිදුවූ මූල්‍ය වංචාව හැරෙන්නට අන් සියල්ලම යහපත් යැයි කීමට තරම් සාක්ෂි නොමැත .  නමුත් ඇතැම් අවස්ථාවල ඉදිරිපත් කරනු ලබන ටෙලි නාට්‍යවල පවතින ගුණාත්මක බව හේතුවෙන් අද වන විට මාධ්‍ය ආයතනය පවතින ස්ථානය හා එදා පැවැති ස්ථානයට සාපේක්ෂව හොඳ මට්ටමක පවතීී. එය හුදෙක් සමාජ ආකල්ප ගොඩනැගීමට පමණක් නොව දේශපාලනික වශයෙන් ද ඔවුන්ට වාසිදායක වේ.

3. සිරස ( Sirasa TV / Sirasa FM / MTV/ TV 1 / Shakthi TV 




අතිශය විශාල මෙන්ම වඩාත් සාර්ථක සමූහ ව්‍යාපාරයක ප්‍රතිඵලයක් වශයෙන් ගොඩනගන ලද අද වන විට ලංකාවේ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනයක් ලෙස දක්වා ලිය හැකි ආයතනයක් වන්නේ සිරස මාධ්‍ය ආයතනයයි. ප්‍රධාන වශයෙන් අප දන්නා පරිදි මෙය එක් නාලිකාවක් නොව නාලිකාවන් කිහිපයක් එක්කාසු වීමක් බව ඕනෑම කුඩා දරුවකුට පෙනීයන කාරණාවකි.

විශේෂයෙන් ගත් කල මෙහි මූලාරම්භය පිලිබද විමසීම වැදගත් වන කරැණක් ලෙස ගය යුතුය. 1992 වසරේ ආරම්භ කරන ලද නාලිකාවේ මව් සමාගම වූ MTV ආයතනය 1998 සිරස මාධ්‍ය ජාලය බිහිකලේය. කවුරුත් දන්නා Capital Maharaja Group නම් බහු ජාතික සමාගම ආශ්‍රයෙන් තැනෙන්නකි. මාධ්‍ය ආයතනයක් වශයෙන් මෙහි ප්‍රබලත්වය වැඩි වන්නට ප්‍රධාන හේතුව වන්නේ එය ආයතන කිහිපයක එකතුවක් නිසාය. කෙසේ නමුත් සිරස මාධ්‍ය ජාලය ලංකාවේ ස්ථාපිත කිරීමට මූලික හේතුව මෙන්ම එහි බලය රදා පවතින්නේ ද දේශපාලනික කාරණාවක් නිසාය. එනම් එවකට හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සිරස මාධ්‍ය ජාලය ආරම්භ කිරීමට නිල ලියකියවිලි / බලපත්‍ර ලබා දීමයි.
අකමැත්තෙන් වූවද එදා සිට මේ දක්වා එන දේශපාලන මතය පවත්වාගෙන ඒමට , එය සිරකරගෙන ඒමට සිරස ආයතනයට සිදුවීම කණගාටුවට කරුණකි. කෙසේ වෙතත් දේශපාලනික වශයෙන් ලංකාවේ ප්‍රබල දේශපාලන පක්ෂයක් මෙහෙයවීම සිරස මාධ්‍ය ආයතනය තුල සිදුවන පක්ෂග්‍රාහී ක්‍රියාකාරකමක් වශයෙන් ගත හැකිය. විනෝදාස්වාදය මෙන්ම ප්‍රේක්ෂක අවධානය සියතට ගැනීම සම්බන්ධයෙන් සිරස මාධ්‍ය නාලිකාවට ඇත්තේ දිගු ඉතිහාසයකි. එනම් 2005 සිට මෑත කාලය දක්වා ම ලංකාවේ හඩකැවීම් ක්ෂේත්‍රයට විශාල පෙරලියක් සිරස මගින් සිදුවිය. එහිදි ඉන්දියානු ටෙලිනාට්‍ය ( මේ ආදරයයි, ස්වප්නා, ප්‍රවීණා, මහගෙදර....) මෙන්ම හඩ කවන ලද කාටූන් ( සොනික්, සූර පප්පා, ගිරිපුර ඇත්තෝ, ස්කූබි ඩූ....) වැනි අංග තුලින් මහ ජනතාව අල්ලා ගැනීමේ ප්‍රයත්නය අති සාර්ථක විය.
මාධ්‍ය ආයතනයක් වශයෙන් ගත්කල එය ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා කරනු ලබන මෙහෙවර පිලිබද ව ප්‍රබලව විග්‍රහ කල යුතුය. එය සමාජිය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද වැදගත් කමක් උසුලන බව ද කිව යුතුය. ජනතාවගේ ප්‍රශ්න හා ගැටලු පිලිබද නිරන්තර අවධානයක් යොමු කරන මාධ්‍ය ආයතනයක් ලෙස කැපී පෙනෙන්නේ " සිරස ගම්මැද්ද" සමාජ සේවා වැඩසටහන් මගිනි. එමෙන්ම " සටන " දේශපාලන සංවාදාත්මක වැඩසටහන තුලින් දේශපාලනයේ අඩු ලුහුඩුකම් මගින් පොදු මහජනයා ගේ දෑස් පාදන ආකාරය පෙන්වා දෙයි . එමෙන්ම "ජනහඩ "
කාලින සංවාදමය වැඩසටහන් ඔස්සේ ජනතාවට දේශපාලනය කියාදීමට පවා උත්සුක විය.
කෙසේ වෙතත් මෑත කාලීන Covid - 19 වෛරසය, අරගල කාලසීමාව මෙන්ම පසුගිය ජනාධිපතිවරණය තුල මහජන මතය තම අණසක යටතට ගැනීමට තරම් ප්‍රබල සන්නිවේදනයක් සිදුකිරීම MTV ආයතනයේ පරිපාලනයට හැකි වී තිබේ. යම් යම් හේතු මත සිරස මාධ්‍ය ආයතනය තුල ඒකාධිකාරයක් නිර්මාණය වූවද එහි බලය හා පරිපාලන අයිතිය සම සේ බෙදා දැක්වූ ආකාරයක් මෙහිදී දැක්විය හැකිය.

  5. දෙරණ / අද දෙරණ  24×7



රටේ පවතින බොහෝ රූපවාහිනි මාධ්‍යායතන හා සසඳා බැලීමේදී එක් එක් මාධ්‍ය ආයතන සතුව විවිධාකාරයේ ගුණ පවතී. එනම් ඒවායේ ඒකාධිකාරී බලයක් තොරතුරුවල විෂමතා මෙන්ම විවිධ ආර්ථිකමය සමාන අසමානතා ආදිය මෙයට දැක්විය හැක. මෙල්ල දෙස පොදු අදහසකින් බැලීමේදී අන්තර්ගතයන් එකිනෙකට වෙනස් බවක් දැකිය හැකිය.  දෙරණ මාධ්‍ය ජාලයේදී එවැනිම වූ මාධ්‍ය ක්‍රියාකාරීත්වයක් පවතින්නා වූ මාධ්‍ය ආයතනයකි. මෙහි මූලාරම්භය  2005 ඔක්තෝබර් මස 11 වෙනදා සිදුවන අතර  සමූහ ව්‍යාපාර විශාල ප්‍රමාණයක පොදු හිමිකරුවකු ලෙස මෙය දැක්විය හැකිය. එනම් liberty publishes  යටතේ අරුණ පුවත්පත  පැමිණෙන අතර george stuart group , derana macro entertainment,  power house lanka  වැනි ආයතන ඔස්සේ සිය ආධිපත්‍ය පතුරුවා හැර ඇත.
දෙරණ මාධ්‍ය ජාලය සම්බන්ධයෙන් දේශපාලනික කෝණයෙන්  බැලූ  විට එය එක්තරා ආකාරයක පක්ෂපාති ස්වරූපයක් සෑම අයෙකුගේම මනසේ කා වැදී තිබේ.එය වඩාත් තහවුරු වන්නාවූ කාරණය සිදුවන්නේ 2019 වසරේ ජනාධිපතිවරණ කාල සීමාව තුළ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට දැක්වූ අසීමිත සහායත් සමගය. මෙකී කාලය තුළ දෙරණ නාලිකාව විශාල වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා තම මැතිවරණ ප්‍රචාරණය තුළ ඉහළින්ම තැබුවේය. එය පළමු අවස්ථාව නොවූවත් රටේ දේශපාලන භූමිකාවේ පැහැදිලි වෙනසක් ඇති කිරීමට මෙය කදිම අවස්ථාවක් වූයේය.


එකී මාධ්‍ය ආයතනය 2024 වන විට එහි හිමිකරුවාගේ දේශපාලන ගමනට සහාය දක්වන අවස්ථාවක් දැක්විය හැකිය. මෙය සිදු වන්නේ ද එවැනිම වූ දේශපාලන පසුබිමක් තුළය ඒ 2024 ජනාධිපතිවරණ  කාල සීමාව තුළය. දේශපාලනික වශයෙන් එසේ ඔවුන්ගේ භූමිකාව වෙනස් වෙද්දී එය සමාජයීය වශයෙන් මානුෂීය වශයෙන් වෙනස් වන ආකාරයක්ද ද දක්නට  ලැබේ . මෙය බොහෝ අවස්ථාවක සමාජය සත්කාරමය වශයෙන් එළිදක්වන ගති ස්වභාවයක් දක්නට  ලැබේ . එය පැහැදිලි ව දකින වැඩසටහනක් ලෙස මනුසත් දෙරණ පෙන්වා දිය හැකිය. 

මූලික වශයෙන් ජනතාවගේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන සිදුකරන සමාජ සේවා සත්කාරක ප්‍රචාරණයක් බව පැහැදිලි  වේ. එයින් පරිබාහිරව දෙරණ මාධ්‍ය ආයතනය ප්‍රධාන වශයෙන් ජනතාවගේ තොරතුරු ගුණාත්මක බවට සාපේක්ෂව විනෝදාස්වාදය ව්‍යාප්ත කරන මාධ්‍ය ආයතනයක් ලෙස පෙනී සිටින බවක්ක් දක්නට ලැබේ. එය වඩාත් හොඳින් පෙනී යන අවස්ථා ලෙස හඩකවන ලද ඉන්දීය ටෙලි නාට්‍ය මෙන්ම කුඩා දරුවන්ගේ විනෝදාස්වාදය පිණිස කාටුන් වැඩසටහන්වල ක්‍රියාකාරිත්වය ද පැහැදිලිව දැකිය හැකිය .

එයින් නොනවතින දෙරණ රියලිටි වැඩසටහන්වල  කිරුළු  දැරීම ද මේ කාලය තුළ දැකිය හැකිය. කෙසේ නමුත් රටේ පවතින හා පැවති වාතාවරණයක් ගත් කළ දෙරණ මාධ්‍ය ජාලය තුළ තිබූ දේශපාලනික මතවාදයත්, එය ජනතාවට හිතකර හෝ අහිතකර ලෙස බලපෑ ආකාරයත් අතර යම් ආන්දෝලනාත්මක වටපිටාවක් තිබුණද එය ප්‍රමාණාත්මකව ඉදිරිපත් වන්නේ මහජනතාවගේ ආකල්ප තුළින් පමණක් බවත් මෙහිදී කිව යුතුය .

6.හිරු මාධ්‍ය ජාලය ( Hiru TV / Hiru FM/ Asia Broadcasting Corporation )



ශ්‍රී ලංකාවේ බොහෝ අවස්ථාවල මාධ්‍ය ක්‍ෂේත්‍රයේ බොහෝ අඩු ලුහුඬුකම් දක්නට ලැබුණත් ඒවා පොදු ජනතාවගෙන් වසන් කරලීම වර්තමානය වන විට සුලභව සිදුවන බව නිරන්තරයෙන් දකින්නට ලැබේ. එය ප්‍රබල වශයෙන් සෑම මාධ්‍ය ආයතනයකම දක්නට නැතත් එය සමහර මාධ්‍ය ආයතනවලින් එක්තරා අවස්ථාවක දකින්නට ලැබේ.  අවසාන වශයෙන් විග්‍රහ කිරීමට ඇති මාධ්‍ය ආයතන ලෙස ිරු මාධ්‍ය ජාලය තෝරා ගත්තේ ඒ හේතුව නිසාවෙනි .
ශ්‍රී ලංකාවේ බොහෝ අවස්ථාවල මාධ්‍ය ක්‍ෂේත්‍රයේ බොහෝ අඩු ලුහුඬුකම් දක්නට ලැබුණත් ඒවා පොදු ජනතාවගෙන් වසන් කරලීම වර්තමානය වන විට සුලභව සිදුවන බව නිරන්තරයෙන් දකින්නට ලැබේ. එය ප්‍රබල වශයෙන් සෑම මාධ්‍ය ආයතනයකම දක්නට නැතත් එය සමහර මාධ්‍ය ආයතනවලින් එක්තරා අවස්ථාවක දකින්නට ලැබේ.

අවසාන වශයෙන් විග්‍රහ කිරීමට ඇති මාධ්‍ය ආයතන  හිරු මාධ්‍ය ජාලය තෝරා ගත්තේ ඒ හේතුව නිසාවෙනි . කෙසේ වෙතත් ඕනෑම මාධ්‍යයකට පැවරෙන්නා වූ නීතිරීති ආචාරධර්ම සමූහයක්මෙම නිර්මාධ්‍ය ජාලයටත් ලැබෙන බව කිව යුතුය නමුත් ඒවා නිසි පරිදි ක්‍රියාත්ම වේද නොවේද යන ගැටළුවට විසඳුම්ද ඇත්තේ ඔවුන් සතුය මූලික වශයෙන් හිරු මාධ්‍ය ජාලය Hiru TV, Hiru FM ,Sooriyan FM ආදී මාධ්‍යය ගණනාවකින් පෝෂණය වූවකි. අඩුවකට ඇත්තේ පුවත්පතක්  පමණි. මෙය දේශපාලනික වශයෙන් තම අභිමත තීරණවලට එළැඹෙමින් ක්‍රියා කරන ආකාරයක් පසුගිය කාලවකවානු පුරාම දක්නට ලැබේ. එය ඉතිහාසය කරා දිව ගොස් කතා කිරීමට වඩා පසුගිය ජනාධිපතිවරන යන කාල සීමා ද්විත්වය උදාහරණයට ගෙන සාකච්ඡා කිරීම සෑහේ.

විශේෂයෙන් 2019 ජනාධිපතිවරණය හා 2024 ජනාධිපතිවරණය තුළද  හිරු මාධ්‍ය නාලිකාවක් ලෙස පක්ෂපාති ස්වරූපයක්  තම මාධ්‍ය ක්‍රියාකාරීත්වය සිදුවූ බව පැහැදිලි වේ. එනම් 2019 ජනාධිපතිවරණය තුළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම මැතිවරණ ප්‍රචාරණය තුළ වැඩි වශයෙන් ප්‍රචාරණය කරන්නේ යම් දේශපාලන හිතවත් භාවයක් නිසා විය හැකි බව පැහැදිලි වේ.

එමෙන්ම 2024 ජනාධිපතිවරණය තුළද ඒ හා සමාන ක්‍රියාකාරීත්වයක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ක්‍රියාකාරිත්වය හා බැඳී පැවැති බව දක්නට ලැබුණි. කෙසේ වෙතත් මාධ්‍ය නාලිකාවක් වශයෙන් දේශපාලන පළිගැනීම් වෙනුවට මහජනතාවට අපක්ෂපාති තොරතුරු සම්පාදනයක් සිදු කිරීමට වගබලා ගත යුතුය. ප්‍රමුඛව ගත් කල මැතිවරණ කොම්ෂන් සභාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය උපමාන හා ආචාරධර්ම විශාල වශයෙන් කඩවීමද මෙකී නාලිකා හරහා සිදුවී ඇත.

කෙසේ වෙතත් රටේ පවතින සමාජ ක්‍රමය අනුව මාධ්‍ය ආයතනයක් වශයෙන් පොදු සමාජ සේවාවල නිරත වී එයින් ජනතාවට සේවයක් සිදුවන බව අපට පෙනී යයිද ආපදා තත්ත්වවලදී විශේෂ සමාජ අවශ්‍යතා වලට අනුකූලව සමාජ සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක වන අවස්ථාවන් දක්නට ලැබෙයි. පොදුවේ ගත් කළ ජනතාවගේ විනෝදාස්වාදය උදෙසා හඬකවන ලද වැඩසටහන් කාටුන් ආදිය තුළින් ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරගත් බව ද සැක හැර දැකිය හැකියි. 


මෙකී සියලු කරුණු කාරණා වග විභාගයට  ගත්විට පෙනීයන කාරණාව වන්නේ ප්‍රබල වශයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය තුළ යම් යම් වෙනස් කරුණු කාරණා ගොන්නක් පවතින බවයි. එමෙන්ම ඕනෑම රටක කොඳුනාරටිය වන මාධ්‍ය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ආකාරය වෙනස්ය.  ඒ හා සමගාමීව වෙනත් රටවල් වල මාධ්‍ය ක්‍රියාකාරිත්වය රටේ සඵලත්වයට අනුව ක්‍රියා කරන ආකාරය දක්නට ලැබේ.

නමුත් අප රටේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය තුළ රටේ පවතින ගැටලුකාරී තත්ත්වයන්ට පිළියම් සොයනවාද යන ගැටලුව සිතන්නට යම් අවකාශයක් ඉතිරි කරයි. මක්නිසාද යත් දේශපාලනික වාතාවරණය තුළ බොහෝ අවස්ථාවල ජනතාවට අපක්ෂපාති, පිරිසිදු තොරතුරු ලැබෙන අවකාශය ඉතා අඩු බව පැහැදිලිව පසුගිය මැතිවරණ කාලසීමාවේදී පෙනී ගියේය  .

මෙකී සාධක සියල්ල විශ්ලේෂණයෙන් පසුව ලංකාවේ මාධ්‍ය ක්‍රියාකාරිත්වය තව තවත් වැඩිදියුණු විය යුත්තේ බලය මත පදනම නොව රටේ මහජනයාගේ සුබ සෙත වෙනුවෙන් බව නැවතත් කිව යුතුය.

Note -     Geeth Malan
               Department of Mass Communication 
               University of Kelaniya 

Special Thanks for - Sandas Rajapaksha ( PRMM )








No comments:

Post a Comment

INFINITY

දන්න පත්තරේ ගැන නොදන්න විස්තරේ...

 ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය, හිමිකාරීත්වය හා එහි අනාගත දිශානතිය.   එදිනෙදා ජීවිතයේ පහසු කර ගැනීමේ අවශ්‍යතාවය හේතුවෙන් මිනිසා තම දෛනික ක්‍...